Friday, May 13, 2016

දම් පාට ටියුලිප්


ඒක ටිකක් අමාරු කාලයක්. වීදි පුරා ඇවිදල ඇවිදල  හෙම්බත්වෙලා මං ගොඩ උනේ ලඟම තියන තැබෑරුමට.ඒකත් මිනිස්සු වැඩිය ගැවසෙන්නේ නැති අඳුරු තැබෑරුමක්. හිසට උඩින් මාත් එක්ක දවස පුරා ඇවිද්ද ඉර නිසා දැන් තෙහෙට්ටුයි.උගුර කට වේලිල දිව ගිලෙන්න වගේ. ඔක්කොටමත් වඩා දනිස් පොල්කටු කෑගගහ තැනක් හොයන්නෙ කකුල් දෙකට නිදහසක් ඉල්ල ගන්න.සාක්කු හිස්වෙලා සිදුරු මතුවෙලා තියෙද්දිත් අමාරුවෙන් අහුල ගත්තු කාසි කීපයකින් මම වයින් වීදුරුවක් උගුරට හලාගත්ත.දැන් දවස් තුනක් තිස්සෙම මම රස්සාවක් හොයනව. ඒත් තාමත් හිතට හරියන රස්සාවක් නැහැ.මම වටපිට බැලුව.මිනිසුන් එකිනෙකා අකමැත්තෙන් මෙන් තැබෑරුමෙන් පිටව යනව.යාන්තම් අඳුර කපන  දුම් ගැහුණු විදුලි බුබුළු  එළියෙන් මට පෙනුනෙ වයස්ගත තැබෑරුම් හිමි කාන්තාව. ඇය කඩිමුඩියේ වැඩ කරන ගමන්  විටින් විට මා දිහා බලනවා.මම මහන්සියටම මේසෙ උඩ ඔලුව ගහගත්තා. 

කොලුවො නැගිටපන්.... මං උඹට කීවනෙ මේක කලින් වහනවා කියල.....නැගිටපන්.....

හ්ම්ම් ...

එකෙක් නෑ තැබෑරුමේ  උඹ විතරයි මෙතන වද දෙන්න ඉන්නෙ.හා .. දැන් පලයන් ...

සමාවෙන්න .. මම යන්නම්.  මම අමාරුවෙන් මේසෙට බර දීල නැගිට්ට 

මට කියන්න පුලුවනිද මේ හරියෙ රස්සාවක් හොයාගන්න පුළුවන් තැනක්. මේ  බාර් එකේ උනත් කමක් නැහැ. මම හොඳට වැඩ කරන්න පුළුවනි.

මා ළඟ උඹට දෙන්න රස්සා නැහැ ඉක්මන් කරපන් මට වැඩ තියනවා..ඇය නුරුස්සනා බැල්මක් හෙලමින් මා හට කීව. 

අනේ එහෙම කියන්නෙපා ... මම දවස් තුනක ඉඳන් මේ රස්සා හොයන්නෙ  මේ දවස් තුනේම හරියට කන්න වත් නැහැ. මෙහෙම ගියොත් මම හාමතේ මැරෙයි. මම ඕනෑම දෙයක් කරන්නම්.ඕනෑම රස්සාවක් ...

ඇය මදක් නිහඬ වුනා. ඒ තියුණු දෑස් නැඹුරු කරලා මා දිහා බැලුවෙ හරියට ගිල ගන්න වගේ.

උඹට පුලුවනිද ගෙවතු බලාගන්න.

හ්ම්ම් ... කලින් නම් කරලා නැහැ ඒත් පුළුවන් ...

එහෙනම් මේ වීදිය කෙලවරේම තියන ටියුලිප් ගෙදරට පලයන්. ඒකෙ  වැඩට උයන්පල්ලෙක්  හොයනවා කියල දවස් කීපයකට කලින් ආරංචි උනා. උඹට තියෙන්නේ අවුරුද්ද පුරාම ටියුලිප් මල් එක්ක ජිවත් වෙන්න.හැබැයි දෙය්යම්පා මම සහතික වෙනවා ඒ ගෙදර ගෑනිටනම්  පිස්සු.මොන විකාරයක්ද ගෙදරින් එලියට වත් බහින්නේ නැතිව වත්ත වටේ  ටියුලිප් මල් වවන් ගේ අස්සටම වෙලා ඉන්න ජීවිතය.ඒ ගෙදර වැඩට ඉන්න ගෑනි වයින් අරන් යන්න මෙහෙට එන්නේ නැත්නම් අපිත් දන්නේ නැහැ ඔය ගෙදර මිනිස්සු මැරිලා කුණුවෙලා ගියත්.උඹට ඕනනම් පලයන්.හැබැයි මම දන්න විදිහට වැඩට හිටිය උයන්පල්ලො  ගොඩ දෙනෙක්ම අස් කරලා තිබ්බ.හා හා දැන් ඇති තවත් ප්‍රශ්න අහන්න උත්තර දෙන්න මට වෙලාවක් නැහැ  දැන් පලයන් ...........

ටියුලිප්  ගෙදර ? ඒ මොන විකාර නමක්ද ... ඒ මදිවට එහෙ ඉන්නේ පිස්සු ගෑනියෙක්ලු  හ්ම්ම් ... යනවද නැත්නම් අදත් බඩගින්නේ කොහේ හරි මුල්ලකට වෙලා රෑ ගෙවනවද? අනේමන්ද .... තවදුරටත් හිතන එක පස්සට දාල මම ඇයටත් ස්තූතියි  කරලම තැබෑරුමෙන් එලියට පැන්න.ලන්ඩන් නගරෙ හැමෝටම පෙනෙන අහස මටත් ඒ විදිහටම අඳුරු වීගෙන තිබුන. කොල පිරිච්ච පාලු පාර දිගේ මම ටියුලිප් ගෙදරක් හොයාගෙන ගියා. හිතේ ඇතිවෙච්ච දහසක් ම්ශ්‍ර හැඟීම් පය පස්සට ගන්න වෙර දැරුවත් කුසගින්න ඇවිලිලා ඇවිත් හදවත දවද්දි  ගරාවැටුණු තාප්පයක්  ළඟ මම නැවතුනා. මලකඩ කාපු ගේට්ටුවට බර දීල මම ගේ දිහා බැලුව.

දෙවියනේ .... මේක සැබෑවක්ද ??  වත්ත පුරාම එක එක පාටින් ටියුලිප් මල්. ඇරත් මේ ටියුලිප් මල් පිපෙන කාලයක් නෙවේ  ....මොහොතකට මට ඇස්  අදහාගත නොහැකිවුනා.පාලුවට ගිය බංගලාවක් වටේට මේ තරම් සාරෙට වැඩිච්ච පාට පාට ටියුලිප්  මල් මාව වසඟයට ගත්ත කිව්වොත් හරි. මොහතකට කලින් තිබ්බ විකාර රූපී සිතිවිලි සියල්ල යටපත් උනා වගේ. මම වටේම තිබ්බ  මල් දිහා බලමින් බංගලාවට වැටිච්ච පටු පාර දිගේ ගමන් කළා. ඒක මහ මූසල ගුප්ත බංගලාවක්. මට මුලින්ම හිතුනේ එහෙම. ගේ ඇතුලට එන තැනම තිබ්බ ලී මේසයක් උඩ  වීදුරු මල් පෝච්චියක් තිබුන. ඒකෙ තිබ්බේ එකම එක සුදුපාට ටියුලිප් මලක්. ගෙදර බිත්ති කතා කලේ අවුරුදු ගානකින් තමන් අලුත් සළු නොඇන්ද ගානට. මම සීනුව නාද කරන්නත් කලින්ම විදුරු ජනේලෙට එබිලා ඇතුල බැලුව. සාලේ මැද තියන ගිනි උදුනක් ගාව පැද්දෙන පුටුවක කාන්තාවක්. ඇය හිටියෙ පොතක් බලමින්. ගේ ඇතුලෙ පෙනෙන්න තිබ්බෙ හරිම නිස්කලංක බවක්. රතුපාටින් පොලව වසාගෙන තිබ්බ බුමුතුරුණත්,  වටේ බිත්ති වල තැනින් තැන එල්ලල  තිබ්බ තෙල් සායම් චිත්‍රත්, ලී අල්මාරියකුත් ඒ උඩ ලස්සනට තියල තිබ්බ  විවිධ විසිතුරු භාණ්ඩ කිහිපයක්  ඇරෙන්න මුළු සාලයම වෙලාගෙන තිබ්බේ පාළු හිස් බවක්. මම දෙවරක් ම වීදුරු දොරට තට්ටු කරලා චකිතයකින්  ටිකක් පස්සට උනා. ඇය සැනෙකින් මා සිට ගෙන සිටින දොර දිහා බලනවා මං දැක්ක. විගසින් පොත පැත්තකට දැමු ඇය පුටුවෙන් පැන විත් දොර ඇරිය. හරියට ඇය මා එනකන් බලා සිටියා වගේ. ඒත් දොර හැර ඇය මා දකිනවාත් සමග ඇගේ මුහුණේ තිබූ ප්‍රීතිමත් බව පරවෙච්ච මලක්  වගේ ඇකිලිල ගියා.

උඹ කවුද ??? මොකද මෙහෙ  ??... ඇය හිටියෙ බලාපොරොත්තු කඩවීම නිසා ඇතිවුන නොරුස්සනා ගතියෙන්.

මං  ඉතාමත් සංසුන්ව ඇයට මා පැමිණි කාරණය පැහැදිලි කලා. මං මේ කතා කරන්නෙ සිහිවිකල් කාන්තාවක් එක්කදෝ යන සැකය බංගලාවට පැමිණෙන මොහොතේ තිබ්බත් ඒ සිතිවිල්ල  සම්පුර්ණයෙන් වැරදි බව ඇයත් සමග කතාවෙන්ම තහවුරු වුනා. ඇය තරුණ විය ඉක්මවූ කාන්තාවක්. හිසකෙස් බොහෝ සුදුපැහැ වී තිබුනත් මුහුණේ තිබූ පිරිපුන් බව ඇය වැඩි වයසක් නොවන බව තහවුරු කලා. උල්වූ නිකටත් කාන්තිමත් දෑසත්  ඇගේ තරුණ වියේ තිබූ සුරූපි බවේ සලකුණු ඉතිරි කරල තිබුන. ඇය හිතුව තරම් නපුරු කාන්තාවක් උනේ නැහැ. කලයුතු සියලු වැඩ මුල සිට අගටම පැහැදිලි කල ඇය මට නවාතැන් ගන්න වත්ත කෙලවරේ තිබ්බ ගබඩා කාමරය දුන්න. මට තිබ්බ රාජකාරිය උනේ උදේ හවස මුළු වත්ත වටේම තියන පැල වලට සීරුවෙන් වතුර දාන්න,පාත්ති සුද්ධ පවිත්‍ර කරන්න.මල් පොහොර දාන්න වගේ රාජකාරි ටිකක්. ඇගේ කොන්දේසිය උනේ මාස හයක්  ඇතුලත වත්ත වටේ මැරිලා මැලවිලා තියන මල් ගස් ඔක්කොම ආයෙම පෙර තිබුන වගේ මල් පිපෙන්න සලස්වන්න. විශේෂයෙන්ම වත්ත කොනේ මේපල් ගහ යට තියන දම් පාට ටියුලිප් මල්. ඒ පාත්තියෙ පැල බොහොමයක් ඒ වන විටත් රෝගයකට ලක්වෙලා මැලවිලා තිබ්බෙ. ඇය ගාව තිබ්බ විශේෂ මල් පොහොර වර්ගෙ අඩු වැඩි නැතිව නියමිත මාත්‍රාවට දාන හැටි කියා දුන්නෙ ඇය. මං හිතන්නෙ වසර පුරාම මල් වැවෙන රහසත් මේ පොහොර සහ සාත්තුව වෙන්න ඕන.

ඒක හිතෙන තරම් ලෙහෙසි පහසු වැඩක් නෙවේ මම කියන්නෙ ලෙඩ වෙච්ච ගස් එකින් එක වෙන් කරලා කොලෙන් කොලේ බලල හරි සීරුවට මල් පැල බලාගන්න එක. වටේම තියන ගස් කොලන් වල කොළ ඔක්කොම පාත්ති වලට වැටෙන එකත් මහ වදයක්. ඔක්කොටම වඩා අමාරු මේ දම්පාට ටියුලිප් මල් පාත්තිය බලාගන්න එක. ඒකෙ පැලයක් දළු දාන්නෙ හරිම අමාරුවෙන්. පහුගිය සති ටිකේම  මං කලේ අලුතින් පස් දාල පොහොර දාල අලුත් ටියුලිප් පාත්තියකට පස සකස් කරපු එක.  

කියන්න බැරිඋනා නෝනගෙ  නම එමීලියා. ගෙදර හිටිය වැඩකාර කෙල්ලගෙ නම මැටිල්ඩ. ඒකි නම් මහ උද්දච්ච කෙල්ලක්. මං ඒ නිසාම කතා කලේ හරි අඩුවෙන්. ඉරිදා දවසට මම තැබෑරුමට යන්න එලියට බැස්සත් එමීලියා නෝනා කවදාවත් ගෙදරින් පිට යන්නේ නැහැ. අඩුම තරමෙ පල්ලියෙ යාඥා වලට වත් ඇය යන්නේ නැහැ.ඇය හැමදාම කලේ  ගේ  ඇතුලට වෙලා පොතක් කියවපු එක නැත්නම් මැහුමක් ගොතපු එක. අහ්හ්  ඇය අනිවාර්යෙන්ම කරපු තව  දෙයක් තිබුන. ඒ උදේටයි හවසටයි ටියුලිප් මල් පාත්ති දිගේ ඇවිදින එක. අනේමන්ද ඇය වැඩිවෙලාවක් ගත කරන්නෙම  දම් පාට ටියුලිප් මල් පාත්තිය ගාව සමහර වෙලාවට මල් අල්ලාගෙන ඇය තමාටම මොනවදෝ මුමුණනව. මල් පාත්ති වටේම අවිද්දට පස්සෙ ඇය කරන්නෙ ලස්සන ටියුලිප් මලක් කඩාගෙන අර ගේ ඉස්සරහ විදුරු මල් බඳුනට දමන එක. ඇය ඒ දිහා ගොඩක් වෙලා බලල සිනාසෙනවා.කලාතුරකින් දවසක කඳුළු සලනවත් මම දැකල තියනව. ඇය හැමදාම එකම පාට මලකුත් නෙවේ  තිබ්බේ. මම හොයල බලපු විදිහට  සතියේ දවස අනුව තියන මලේ පාට වෙනස්  ඒ කියන්නෙ සඳුදට  සුදු පාට ටියුලිප් මලක්  අඟහරුවාදාට කහ, බදාදට රෝස , බ්‍රහස්පතින්දට නිල්  මේ විදිහට සතියේ දවස් හතේම ඒ ඒ සතියට ඒ ඒ පාට මලක් ගේ ඉස්සරහ තියන්න ඇය අමතක කලේ නැහැ. ඒ දේ දිහා හැමදාම මමත් බලන් හිටියේ ආසාවෙන්.ඒ ඇගේ මුණුනෙ කලාතුරකින් දකින්න ලැබෙන හිනාව දැකගන්න ලැබෙන්නේ  ඒ මොහොතේ නිසා. හැබැයි මොන හේතුවක් නිසාද මන්ද  කවමදාවත්ම දම් පාට මලක් ඒ මල් පෝච්චියට දමනවා මම දැකල තිබුනේ නැහැ .

හරි ප්‍රවේශමෙන් කරපු සාත්තුවත් එක්ක මාස හයක් යන්න කලින්ම අලුත් පත්තියේ දම්පාට මල් පොහොට්ටු  බුබුළු වගේ පැන නැගිලා ආව. හෙමි හෙමින් වැඩෙන මල් දිහා එමීලියා නෝන බලන් හිටියෙ පුදුම නොඉවසිලිමත්කමකින්.ඇය වගේම මමත්. මම හිතුව මේ පාරනම් දම් පාටමලක් අර මල් පෝච්චියට අනිවාර්යෙන් වැටෙයි කියලමයි.ඒත් දවසින් දවස ගෙවුනත් ඇය මල් දැකල සතුටු උන මිසක් එක මලක් වත් කඩාගන්න උනන්නදු  උනේ නැහැ. මට ඒ ගැන නම් ටිකක් විතර තරහ ගියා කිව්වොත් හරි.ඇය හොඳටම දන්නව මේ මල් හරි ප්‍රවේශමෙන් සාත්තු කරලා හදපු මල් බව. කිසි පලුද්දක් ඇකිලීමක් නැතිව පිරිපුන්ව හැදිච්ච මල් බව ඉතිං  ඇය වෙනුවෙන්ම මහන්සි වෙලා හදපු මල් පාත්තියට,සරුවට වැඩුණු දම් පාට ටියුලිප් වලට ඇයට අකමැති වෙන්න කිසිම හේතුවක් නැහැ. කොහොම නමුත් හිතට ආපු අදහසකුත් එක්ක මම පහුවදා උදේම ක්‍රියාත්මක උනා. 

පහුවදා උදේම එමීලියා නෝනා ගෙදර දොර අරිද්දිම  දැක්කෙ, ලස්සන රිබන් පටියකින් ගැටගහපු දම් පාට ටියුලිප් මල් පොකුරක්. ඇය  එකපාරටම වික්ෂිප්තයෙන් කෑ ගැසුව.

ජැක් ... ජැක් .... මැටිල්ඩ .... කවුද මේ දම් පාට මල් පොකුරක් මෙතන තිබ්බෙ?  ඇය ඉන්පසු වේගයෙන් දිවගියේ දම්පාට මල් පාත්ති ගාවට එහි එක පැලයක් නෑර විපරම්  කරමින් නටුවෙන් කපන ලද මල් ඇත්දැයි බලා කිසිදු එවන් සලකුණක් නොලැබුණු තැන ඇය යලිත් දම්පාට මල් පොකුර තිබූ තැනට දිව ගියා.මල් පොකුර යලිත් එහෙ මෙහෙ හරවල  ඇය  අපි දිහා බැලුව.

ජැක් ඇත්ත කියපන් ... උඹ දැක්කද කවුරු හරි ඇවිත් මේක තියනවා ...

නැහැ නෝනා ...
   
මැටිල්ඩ  උඹ ??

නැහැ සත්තයි .. මම මේ මල් පොකුර දැක්කෙත්  දැන්මයි ....

ඉන්පසු ඇය මල් පොකුර තම පපුවට ලංකර යලිත් එය ගෙන එහි  මල් එකක් නෑර සිඹින්නට උනා. ඉන්පසුව වියරුවෙන් මෙන් නටන්නට උනා.මැටිල්ඩත් මමත් වික්ෂිප්ත දෑසින් ඇය ගේ මේ අමුතු හැසිරීම දෙස බලන් හිටිය.

 මැටිල්ඩ  කෙල්ලේ මේ අහපන් අද මම කියන කෑම හදන්න ඕන ... හොඳට රහට තේරුනාද ?  අර මගේ සුදු සේද ගවුම  අන්න ඒක හොඳට මැදල තියන්න ඕන තේරුනාද ? 

 ජැක්... උඹ ගිහින් හොඳවයින් කළුකුම් මස් රාත්තලකුයි  වයින් බෝතල් දෙකකුයි ගෙනෙන් ...මේ දැන්ම.. .එසේ කියූ ඇය මල් පොකුරත් පපුවට තුරුළු කරගනිමින් තාලයට ගීයක් මුමුනමින් නිවසට ගියා. 

වයින් බෝතලුත් මස් රාත්තලුත් රැගෙන් යලි නිවසට පැමිණෙන විට එමීලියා නෝන හිටියෙ සුදු සේද ගවුම ඇඳන්.බැලූ බැල්මට එය විවාහ මංගල උත්සවයේදී ඇඳපු ඇඳුමක් වගේ.ඇගේ මුණුනෙ සතුට උතුරමින් පැවතිය කිවොත් හරි.  ඇය එතරම් ප්‍රීතිමත්ව සිටිබවක් අන් කිසිම දිනයක මම දැකල තිබ්බේ නැහැ. විටින් විට ඇය ගේට්ටුව දිහා බලමින් අලුත ගෙනා වයින් තොල ගාමින් පෙම් ගීයක් මුමුණමින් හිටිය.මම වෙනද වගේම සාමාන්‍ය විදිහට පාත්ති සුද්ද කරලා වතුර දාල හවස් වරුවෙ තැබෑරුම පැත්තෙ ගියා. රෑ නිවසට එනකොටත් ඇය සිටියෙ සේද ඇඳුමින් ,නොයිවසිල්ලෙන් සාලෙ පුරා  එහෙම මෙහෙ සක්මන් කරමින්. 

නහය කපාගෙන ගිය  සැර කළුකුම් මස් හොද්දෙ  සුවඳත් විඳගෙනම මම ගබඩාකාමරයට ගිහින් හාන්සි උනා.

රෑ දෙගොඩ යාමෙ දොරට තඩිබාන ශබ්දයක් ඇහුන.

ජැක් ජැක් මම මැටිල්ඩ  .. නැගිටින්න  නැගිටින්න .. විගහට එන්න 

ඇයි  ඇයි  .... මොකද මේ මහ රෑ .........

එමීලියා නෝන උමතුවෙන් වගේ කියවනවා  මට බයයි පොඩ්ඩක් ඇවිත් බලන්න.

මම විගසින් ඇය පසුපස එමීලියා නොනගෙ කාමරයට ගියා.ඒ මම ඇයගේ කාමරයට පැමිණි පලවෙනි වතාව කාමරයට ඇතුළු වන තැනම බිත්තියේ  හමුදා නිලදාරී ඇඳුමකින් සැරසුණු කඩවසම් පිරිමියකුගේ  පින්තූරයක් එහි එල්ලා තිබුනා. මම ඇය අසලට යන විටත් ඇය උමතුවෙන් කියවමින් සිටිය.

ඇය මා දකින විටම ඇය දෑත් දිගුකර මෙසේ පැවසුවා 

ඇලන්  ඔයා ආවද ... මම දැනගෙන හිටිය ඔයා කවද හරි එනවා කියල. අර ඔයා ආසම දම්පාට ටියුලිප් මල් දැක්ක ගමන් මම දැනගත්ත ඔයා ඇවිත් කියල..... මාව බලන්න අන්තිමේ ඔයා ආව ....... ඇලන් .......

මම තවදුරටත් එහි නොසිට  විගසින්  කාමරයෙන් පිටවුනා. 

එමීලියා නෝන උදේ ඉඳලම වයින් බීව. ඔය මත්වෙලා විකාර කියවනවා.  හෙට වෙද්දී අඩුවෙයි එයාට නිදන්න හරින්න. 

එසේ කියූ මම  යලිත්  රැඳී නොසිට ගබඩා කාමරයට පිටවුනා. 

පහුවදා අළුයමම සියල්ලටම කලින්  නැගිට්ට මම  ගබඩා කාමරේ පිටිපස්සේ ඉබේ වැවිල තිබ්බ දම්පාට ටියුලිප් මල් පැල ඔක්කොම ගලවල තාප්පෙන් එහාට විසික්කරලා දැම්ම .............






ප.ලි. : ටිකක් වෙනස් විදිහට ලියන්න  හදපු කතාවක්. හිතට දැනුන දේ අඩුපාඩු හොඳ නරක සියල්ලම පහලින් කොටලා යන්න  :) 


51 comments:

  1. ඔයා හරි.. ඇත්තටම වෙනස් විදිහක අපූරු කතාවක්...
    දම්පාට ටියුලිප්.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණි. වෙනස් විදිහට ලියන්න ඕන කියල හිතල හිතල ලීව.කතාව සාර්ථකයි නම් සතුටුයි :)

      Delete
  2. සාර්ථකතත්වයේ ලකුණු පෝස්ට් එක පුරාම තියෙනවා , බසු පිස්සුව තියෙන තවත් බස්සි ටයිප් හංසියෙක් බිහිවෙයි වගේ , ජය

    ReplyDelete
    Replies
    1. හී හී... ස්තූතියි ඉවාන් අය්යේ.පොඩි වෙනසක් කරන්න ඕන උනා. හංස මොලෙන් පොඩ්ඩක් හිතල වෙනස් කතාවක් ලීව :)

      Delete
    2. මචං, ඉවාන්,

      බස්සි ටයිප් නෙමෙයි, කෙලින්ම හංසි ටයිප් වුනොත් නේද හොඳ???

      Delete
    3. @ විභී හී ... දන්නේ නැහැ මොන ටයිප් වේවිද කියල. මනසින් මැවෙන කතාව හිත ගලපලා මට දෙනවා. මම කරන්නේ හෙමින් සීරුවට ඒවා වචන වලට හරවන එක.ලියවිල්ලෙ වෙනසක් හරි පොඩි හරි දියුණුවක් උනානම් මං හිතන්නෙ පහු ගිය අවුරුද්දේ ඉඳන් මං ඇති කරගත්ත පුරුද්ද.බ්ලොගේ නිසාම හම්බුනා යාළුවො එක්ක පොත් මාරු කරන් කියවනව.බ්ලොගේ වටේ තියන බ්ලොග් පෝස්ටු කියවනවා.කියවල කියවල හිතත් එක එක කතා මවද්දි මටත් ලියන්න හිතෙනව.ඉතිං මං ලියනවා අමාරුවෙන් හරි ඔයාලත් කියවනව :D

      Delete
  3. ටොප් ක්ලාස් හංසියෙ... හංසයත් දැං එන්න එන්නම ෂාප් වේගන යනව දකිනකොට මාර සන්තෝසයි.. මේ ලිවීම ඒ ෂාප් ගතිය දිගටම තියාගන්න. හැමදාම ලියන්න. හොද කතා කාරියකගෙ පෙරමඟ සලකුණු පේනව...
    කතාව ලස්සනයි හංසි... ලස්සනයි කියන්නෙ උපරිමයි
    ජයෙන් ජයමවේවා

    ReplyDelete
    Replies
    1. හික්ස් ..ලොකු වර්ණනාවක් ..සතුටුයි අය්යෙ. මේ ලියවිල්ල පිටිපස්සෙ තියෙන්නෙ ඔයාල හැමදාම ඇවිල්ල දිරිගන්වන එකේ පන්නරය තමා. පුළුවන් වෙලාවට ලියන්නම්. මං හිතන්නෙ අද කතාව ඇතිවෙයි තව මාසයක් විතර කතා කරන්න ඕන ඉන්ධන වලට .. :D ගොඩක් ස්තූතියි අය්යෙ :)

      Delete
  4. හරිම අමුතු විදියට දැනුන හංසි. හරියටම ගැලපෙන වචනෙ, "පට්ට". ලස්සන ගලා යාමක්. වෙනස්, නුහුරු පරිසරයක්.

    ජයවේවා හංසි. දිගටම මේ පපුවෙ ගැස්මෙන් කියවන්න දේවල් ලියවේවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ලේ. මේවගේ කතාවක් මීට කලින් ලීවෙම නැහැ මේ පොඩි උත්සාහයක්.ඒක සාර්ථකයි නම් ...... සතුටුයි ^_^

      Delete
  5. ලස්සනයි කතාව. ඇත්තටම වෙනස් තමා ලියල විදිය. පරිවර්තනයක් කියවනව වගෙත් දැනුන.(y) fb post කියෙවුවට අදමයි ආවෙ මෙ පැත්තෙ. අයෙ එන්නම් ඉතුරුව ටිකත් කියවන්න.

    ReplyDelete
    Replies
    1. හී .. පලවෙනි වතාවට මෙහෙට ගොඩවෙලා .. හරි සතුටුයි ^_^ මුහුණු පොතේ දැක්ක පාන් බට්ට මෙහෙට පැමිණීම ගැන සතුටුයි.ගොඩක් ස්තූතියි. අයෙම ඇවිත් යන්න එන්න :)

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. පටන් ගැනීමේ ඉඳල අවසානය දක්වාම හරිම අපුරුවට කතාව ගොඩ නගල, ජැක්ගේ සැකය ජැක් මහන්සියෙන් වවල සාත්තු කරලා පුදින්න ආපුදම්පාට tulip මල් වගේම ජැක්ගේ සැකය එමිලියාගේ හැසිරීමත් එක්ක උඩු දුවනවා, එතකොට ඒ මල් එමිලියාගේ මල් බඳුනට නොපැමිනීම හරහා ජැක්ගේ බලාපොරොත්තු කඩ වීම හරි අපුරුවට කියල තියෙනවා, එමිලියාගේ තනිකම ඇගේ හැසීරම් වල කියවෙනවා, ඒදා දවසේ එමිලියාගේ වෙනස් වීම කතාවට හරි අපුරු අලංකාරයක් එක කරන්නව. එතකොට තැබෑරුම් කාන්තාව හරහා මිනිස්සු තමන්ට නොවැටහෙන දෙයක් දිහා බලන පොදු මතය හරි අපුරුවට වචන කරලා.

    අවසානයේ ජැක තමන් නොදැන කල දේට පසු තැවෙන හැටි, මල් පඳුරු ගලවල විසික් කරන හැටි ඒක සාර්ථක අවසානයක්.

    සාර්ථක කතාවක්. (හැක් tulip මල් හෙව්වේ මේකට නේ එහෙනම් :D)

    ReplyDelete
    Replies
    1. දම් පාට ටියුලිප් මලක් ගැන කියල ඇවිස්සුව නේ. හික්ස් ... ඔය මල ගැන ඇතිවෙච්ච ආසාවත් එක්ක ලියවෙච්ච කතාවක්.කතාවෙ පොඩි පොඩි කොටස් තව සඳහන් කරන්න තිබ්බත් දිග වැඩිවෙනවා කියල දැනුන නිසා අවසන් කරා. මේ විස්තර කිරීමට ස්තූතියි. කතාව දැනිල තියනවා එහෙනම්. සතුටුයි :)

      Delete
  8. මටනම් දැනුණේ රුසියන් පරිවර්තනයක් කියවනවා වගේ, අර "ඉස්කෝප්ප ආසියා" කතාවේ ඉස්ටයිල් එක...

    ReplyDelete
    Replies
    1. ඉස්කෝප්ප ආසියා කියවල තියනවා වගේ. නම නම් ලාවට මතකයි.ඒත් ආයේ හම්බුනොත් කියවන්න ඕන :) ස්තූතියි ලලිත් :)

      Delete
  9. හංසිගේ කතා කෙරුවාවට අපෙනුත් සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුට්ටෝ ^_^

      Delete
  10. උදේම කථාව කියෙව්වත් ඒ වෙලේ මොකුත් නොකීවේ කථාව ගැන ඇත්තට හිතන්ඩ ඕනෙ හිංද....කථාව කෙටී ඒත් හරි අපූරුයි....චරිත භාවිතය හා ඔවුන් හැසිර වීම අපූරුයි...මෙතරම් කෙටියෙන් ලියවෙන කතා වලට මෙච්චර රසයක් උපද්දන්ඩ පුලුවන් බව දැනුනෙ සෑහෙන කාලෙකින්....රස විදීම බොහෝ දුරට රදා පවතින්නෙ චරිත මට නෙවෙයි....රචනය තුල....වැසිකිලියක් ගැන ලීවත් රචනය ලස්සනනන් වැසිකිලියත් සුර ලෝකයක් කරන්ඩ පුලුවන්....ටියුලිප් මල්.....වයින්...අපූරු ඉසව්වකට කැන්දනව...මම හිතනව තව ටිකක් මානසික රෝගී තත්වය ඉලිප්පුවනන් හොදයි කියල....කොහොම හරි එහෙම උනේ නෑ කියල්‍රසවත් බව අදුවීමක් පේන්ඩ නෑ....තව දෙයක්....මෙහෙකාර කෙල්ලට බරටිකක් වැඩි උනාන හොදයි වගේ....ඇත්තටම අපූරු කථාවක්...ජයවේවා...තව දෙයක්...මම මේවගේ කතා වලට හරි අසයි...බොහොම ස්තූතියි ඔබට!

    ReplyDelete
    Replies
    1. මල්ලිගෙ අදහස් ඔක්කොම එකතු කරලා ලීව කමෙන්ටුවට මුලින්ම ස්තූතියි කියන්නම්කො :) විදේශ කතා ,රුසියන් කතා මම කියවල තියෙන්නේ හරිම අඩුවෙන් ඒත් කාලෙක ඉඳල හිතේ පොඩි ආසාවක් තිබ්බ මේ අමුතු නම් තියන මිනිස්සු ටිකක් එකතු කරලා වෙනස්ම විදිහේ කතාවක් ලියන්න.ටියුලිප් මලක් කතාවට ආවෙ අහම්බෙන්. කතාවෙ අවසානෙ මෙහෙම වෙයි කියල හිතුවට මුල මැද ගලපලා ලීවෙ කතාව ලියද්දිම. ඒත් කතාව ඉබේම දිග වැඩිවෙනව වගේ දැනුන නිසා අයෙම හිතල තමා ලීවෙ මං ලියන ගොඩක් කතාවල අන්තිමට හදිසිවෙනවා වගේ දැනුනොත් පුදුමයක් නෙවේ.හික්ස්... අර කීව වගේ එමීලියා ගැන ලියන්ට තිබ්බ තව. මැටිල්ඩ නම් අතුරු චරිතයක් කතාවෙ එක පොඩි සුළු කොටසකදි මතුවෙන එයා ගැන මට වැඩිය හිතුනේ නැහැනෙ :D අදහස් වලට ස්තුතියි මල්ලි තවත් කතාවක් ගොතද්දි තව සීරුවෙන් ලියන්නම් ;) :)

      Delete
  11. අපූරු ගෙත්තමක් හංසි. කථාව හරිම රසවත්ව ගැලපිලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු ... කතාව රහට දැනුනා කියල අහන්න ලැබුන එකට සතුටුයි ^_^

      Delete
  12. ලස්සන නිර්මාණයක් හංසි. කිව්වත් වගේ පරිවර්තන කතාවක් කියෙව්වා වගේ. එක හුස්මට කියවන ගියා. හරිම ලස්සනයි..
    දිගටම මේ වගේ ලියන්න සුභ පතනවා..
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළු.තව හොඳ පරිවතන එහෙම කියවල දවසක තව කතාවක් ගොතන්නම් :)

      Delete
  13. කතාව නියමයි නංගෝ..වෙනස් රටාවක්..දම්පාට ටියුලිප්..මම මේකේ ආසම යෙදුම් මෙන්න මේවා..
    //හැබැයි දෙය්යම්පා මම සහතික වෙනවා ඒ ගෙදර ගෑනිටනම් පිස්සු.මොන විකාරයක්ද ගෙදරින් එලියට වත් බහින්නේ නැතිව වත්ත වටේ ටියුලිප් මල් වවන් ගේ අස්සටම වෙලා ඉන්න ජීවිතය.ඒ ගෙදර වැඩට ඉන්න ගෑනි වයින් අරන් යන්න මෙහෙට එන්නේ නැත්නම් අපිත් දන්නේ නැහැ ඔය ගෙදර මිනිස්සු මැරිලා කුණුවෙලා ගියත්//
    //ගෙදර බිත්ති කතා කලේ අවුරුදු ගානකින් තමන් අලුත් සළු නොඇන්ද ගානට.//
    පරිවර්තනයක් කියල මුලදි හිතෙන තරමටම විශිෂ්ටයි!

    ReplyDelete
    Replies
    1. තරු අක්ක ගොඩ කාලෙකින් මෙහෙට ගොඩ උනේ ..සතුටුයි :) අපි කියවන පරිවර්තන වල තියන මේ නම් මේ පරිසර අපිට නුහුරු ඒත් හිත ඇදල ගන්න පරිසර සිද්ධි.මේ කතා මම අඩුවෙන් කියවල තියෙන්නෙ.ඒත් ලඟකදී කියෙව්ව කතා පොත් නිසා පොඩි ආසාවක් ආව ලියන්න. පොඩි චකිතයකුත් එක්ක ලීව කතාවක් කිව්වොත් හරි.ඒත් අවසානෙදි සතුටු වෙන්න පුළුවන් විදිහට ලියවුනා.ගිය අවුරුද්දේ ඉඳන් පොත් කියවන එක වැඩියෙන් කර නිසා ලොකු වෙනසක් උනා වගේ අක්කෙ.බලමු ආයෙත් දවසක හිතුනම ලියන්නම් :)

      Delete
  14. හංසි යෝ,
    කතාව නම් මල් හතයි..

    අර සමහරු උඩින් කියලා තියෙනවා වගේ තවත් අපූරු බ්ලොග් රටාවක් මතු වේගෙන වේගෙන එනවා වගේ...

    මගේ උණුසුම සුබ පැතුම්...

    ගිදටම මෙහෙම එව්වත් ලියමු...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විභියෝ :) හැමදාම වෙනසක් කරන්න ආසයි . ඉස්සරහට පුළු පුළුවන් විදිහට අලුත් දෙයක් කරන්න තව හොඳට ලියන්න බලන්නම් :)

      Delete
  15. පට්ටයි ඈ. ඔහොම ලියාගෙන යමු. දැන් ලිවිල්ල හොද ගානකට ඇවිල්ලා.

    කතාව රසවින්දා උපරිමයෙන්ම.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දිනේෂ් අය්යෙ ^_^ අර ඔයා හැමදාම ලියන කතාවල තියන පිටරට නම් වලට මමත් ආස කලාලු .. කියවපු පොතුත් එක්ක ආසාව වැඩිවෙලා අන්තිමට කතාවක් ලියවුනාලු ඉතින් :)

      Delete
  16. කතාව එක දිගටම කියවන්න ඕනේ හින්දයි කොමෙන්ටුවක් දාන්න පමාවුනේ. ඇත්තමයි හන්සි, කතාවනම් ලස්සනයි. මම කියවපු පරිවර්ථනයක් තිබුනා ' නිස්සා සහ සෙස්සෝ ' කියලා. මට ඒක මතක්වුනා. සාර්ථකයි.

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී :) 'නිස්සා සහ සෙස්සෝ' මම කියවල නැහැ.ලස්සන කතාවක් නම් අරන් කියවන්න ඕන :)

      Delete
  17. හරිම ලස්සනයි හංසි කතාව. හොඳ කතා සංකල්පයක් එක්ක කතාව ගොඩනැගීම හරිම අපූරුවට කරලා තියෙනවා. තව කතා ගොඩාක් ලියන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතූ ^_^ හෙමිහිට තව කතා ලියන්නම්. දැන් ආයෙම වැඩ වලට හිරවෙයි වගේ ....

      Delete
  18. නියමයි හංසි.. එක එක විදිහෙ පොත් හොයාගෙන කියවන තරමට අපෙ පරිකල්පන ශක්තිය දියුනු වෙනව..අන්තිමෙ ඇත්ත ජිවිතෙත් පොතක් වගෙ චරිත ගලපල විඳින්න අපිට හැකියාව ලැබෙන නිසයි මං හිතන්නෙ කියවිම මිනිසා සම්පුර්ණ කරයි කියන්නෙ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චතූ :) ඇත්ත කතාව. සමහර පොත් කියවගෙන යද්දී රහයි, සමහර කතා තියනව අගටම කියෙව්වම තමා රහ තවත් කතා තියනව කතාව එකපාරටම හිතාගන්න බැහැ හැබැයි කියවල පොත පැත්තකින් තියල පොඩ්ඩක් වෙලා කල්පනා කරාම හිතෙනවා ෂා ඒක පට්ට කතාවක් නෙ කියල.ඔය එක එක ජාතිවල පොත් බැලෙනවා පස්සෙ ඔය ඔක්කොම කියෙව්ව හිත හරි පුදුම කතා මවනව.කියවන අපිවත් සෑහෙන්න විදිහට වෙනස් කරනව :)

      Delete
  19. හසඟන බ්ලොග් එකත් දම් පාටින් සරසලා හරිම අපූරු කතාවකුත් ලියලා ...

    ඇත්තටම වෙනස් ලස්සනක් ... ටියුලිප් මල් පිරුණු ගෙවත්ත, හුදෙකලාවේ ඉන්න මැදිවියේ කාන්තාව කතාවට ගුප්ත සුන්දරත්වයක් එකතු කරනවා.

    ඉක්මනටම මේ වගේ තවත් සුන්දර කතාවක් ඕන ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙතූ ^_^ ටිකක් වෙනස් විදිහට ලියන්න හැදුව කතාවක ප්‍රතිපලයක් මේ.ආයෙම දවසක මෙහෙම කතාවක් ලියනම්කො. :)

      Delete
  20. අඩු පාඩු හිතට නොදැනෙන්ට ම මේ කතාව හිතට වැදුණා...
    ජැක් මැටිල්ඩා එකතු වෙයි කියලා මම බලාපොරොත්තු වුණා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චතුරංග .... ආයෙ ආයෙ කියවද්දි කතාවේ මට දැනෙන අඩුපාඩු හැමදාමත් තියනව.ඒව හදාගන්න ඕන මම.හි ..හී .. ජැක් මැටිල්ඩ එකතු කරන්න නම් අදහසක් තිබ්බෙම නැහැ එහෙම උනොත් තවත් සම්ප්‍රදායික කලින් අහල තිබ්බ විදිහෙ කතාවක් වෙනන තිබ්බ ....

      Delete
  21. එක හුස්මට කුතුහලයෙන් කියෙව්වා හංසියෙ. හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි ^_^ ගොඩක් ස්තූතියි රන්දුලා :)

      Delete
  22. මමත් බංගලාවේ ජිවත් උනා කතාව කියවාගෙන යද්දී
    නියමයි :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කලණමිතු :)

      Delete
  23. අලුත් පේන්ට් එකක් ගාලා.......

    ReplyDelete
    Replies
    1. දැන් පාට පාට ලෝක වල ජිවත් වෙන කාලෙ නොවැ ;)

      Delete
  24. උයන්පල්ලට අදාළ නැති වැඩක්නේ කරලා තියෙන්නේ.. අන්තිමට ජොබ් එකත් නැති වෙයි..

    ReplyDelete
    Replies
    1. උයන්පල්ල නොකියාම බංගලාවෙන් පිටව ගිහින් :)

      Delete